ප්‍රාදේශික ඉතිහාසය

මුහුදුබඩට ආසන්නව පිහිටි කටාන ප්‍රදේශය  යටත්විජිත යුගවල ලාංකේය සමාජයට ඇතිවු බලපැම් ඍජුවම එල්ල වූ  ප්‍රදේශයක්  බැවින්  මෙම ප්‍රදේශයේ  සියලුම ජන වර්ගවලට අයත් මෙන්ම  විවිධ ආගම් අදහන ජන කොටස් මිශ්‍රව වාසය කරති .

පැරණි  බෞද්ධ ආගමික විහාරස්ථාන අතර තිඹිරිගස්කටුව ශ්‍රී සුගතාරාමය, වලාන ශ්‍රී සුමනාරාමය, හිනටියන පොත්ගුල් විහාරය, කෝවින්න ගංගාරාමය සහ මඩවල බෝධිපාදාරාම විහාරය   වැදගත් වේ. තිඹිරිගස්කටුව  ශ්‍රී සුගතාරාමයේ  පැරණි  පිරිත් මණ්ඩපය   කැටයම් කලාව සහ විශාලත්වය අතින් සුවිශේෂ ස්ථානයක් ගනි.

කදවල දේවස්ථානය, කටුවපිටිය දේවස්ථානය, කොන්දගම්මුල්ල දේවස්ථානය සහ කිඹුලපිටිය දේවස්ථානය මෙම ප්‍රදේශයේ  පිහිටි පෞරාණික වටිනාකමකින් යුතු කතෝලික  දේවස්ථාන  වේ.

කදිරාණ ප්‍රදේශයේ පිහිටි වසර 400 කට වඩා පැරණි යැයි ගැමියන් විශ්වාස කරන මංගර දේවාලය මෙන්ම  වලාන ලක්ෂ්මි දේවාලය ද ඓතිහාසික වශයෙන් විශේෂ ස්ථාන වේ.

යටත් විජිත යුගයට අයත් ඓතිහාසික  වශයෙන් වැදගත්කමින් යුතු  ස්ථාන කිපයක් ම මෙම ප්‍රදේශයේ  ඇත.

ලන්දේසි යුගයට අයත්  කුළුණ – මිගමුව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ  කදවල  මංසන්ධියේ  ලන්දේසි  යුගයට අයත් කුළුණක් පැවති අතර   මැතකදි එය කඩා වැටී ඇත. මෙවැනිම කුළුණක් කටුනායක නගර සභා ප්‍රදේශයේ  අමන්දොළුව මංසන්ධියේ පිහිටා ඇත. කුළුණු දෙකක් අතර දුර සම්මත මිනුම් ඒකකයක් ලෙස භාවිත කළ බවත් , මෙම කුළුණු ලන්දේසි පාලන සමයේ පණිවිඩ හුවමාරු කටයුතු සදහා  යොදාගත් බවත් , මෙම කුළුණු  මතට නැගී භුමිය සිතියම්ගත කිරීමේ කටයුතු කළ බවත් පැරැන්නන් විසින් පැවසේ.

බෙස්ලයින් මාර්ගය – කදවල සිට කිඹුලපිටිය දක්වා සරල රේඛාවක් මෙන් වැටී ඇති මෙම මාර්ගය නැවතත් කටුනායක නගර සභා ප්‍රදේශයේ  අමන්දොළුව සිට සීදුව දක්වා වැටී ඇත. බෙදුම් පාර,අඩි 60 පාර, රට මැද පාර යන නම්වලින් විවිධ ප්‍රදේශවල දී මෙම මාර්ගය  හදුන්වා ඇත. ලන්දේසි පාලන සමයේ  රට අභ්‍යන්තරයේ සිට කොළඹ වරාය දක්වා  භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යොදා ගත් ප්‍රධාන මාර්ගයක් ලෙස  මෙය භාවිත කර ඇත. ලන්දේසි යුගයට අයත් කුළුණු පිහිටා ඇත්තේ ද මෙම මාර්ග ආසන්නයේය. ඉංග්‍රිසින් විසින්  ශ්‍රී වික්‍රම රාජසිංහ  රජු අත්අඩංගුවට ගනු ලැබ කොළඹට කැදවා ගෙන  ආවේ මෙම මාර්ගයේ  යැයි විශ්වාස කෙරේ.

බ්‍රිතාන්‍ය යුගයේ අවසාන භාගයේ  මෙරට ඇති වූ ජාතික ආගමික ප්‍රබෝධයේ පුරෝගාමියකු වන වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා  කටාන මහහුණුපිටියේ පදිංචි කරුවෙකි. එතුමා පදිංචි ව සිටි නිවස වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික කෞතුකාගාරය වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා භාවිත කළ ගෘහ භාණ්ඩ වර්තමානයේ එම නිවසේ ප්‍රදර්ශනයට තබා ඇත.

කටාන ප්‍රදේශයේ අතිතයේ සරුසාර පොල් ඉඩම් බහුල ව පැවති අතර එම  ඉඩම්වල ආදායමෙන් ජීවත් වු ප්‍රභු පැලැන්තියක්  වාසය කර ඇති අතර වර්තමානය වන විට  ඉඩම් අනුබෙදුම්කරනය  හේතුවෙන් එම සරුසාර පොල් වගාවන් අභාවයට ගොස් ඇත.